LATEST :

Thursday, November 26, 2015

Civil War Trailer 01 - Breakdown Part 02


සිවිල් වෝර් ට්‍රේලර් එකේ පලවෙනි කොටස අපි මීට කලින් ගෙනාවනේ. අපි එතනින් එහාට සිදුවීම් පෙළ ගැන කතා කරමු.
ඊට කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕන. අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් පෙන්නලා දීලා තිබ්බා මගේ අතින් මඟ හැරුණු වැදගත් කාරණයක්. ඒ තමයි Crossbones අපිට පෙන්වනවා ඉතාම සුළු වෙලාවකට. මේ සිදුවීම වෙන්නේ පිපිරීමෙන් පස්සේ පොලිස් නිලධාරීන් බකී හොයාගෙන යන අවස්ථාවට කලින්. Crossbones, ජර්මනි හමුදාව එක්ක මොකක් කරනවා ද කියන එක නම් තවම පැහැදිලි නෑ අපිට.



අපි එහෙනම් කලින් ලිපියෙන් කතාකරපු තැන ඉදන් ඉතුරු ටික බලමු. මෙතන ඉදන් තමයි ට්‍රේලර් එකේ උද්වේග කාරී අවස්තා පටන් ගන්න යන්නේ. මුලින්ම අපිට දකින්න හම්බෙන්නේ සෑම් විල්සන්. අපින් මීට කලින් ෆෝල්කන් ව දැකලා තිබ්බට මේ ෆිල්ම් එකේ දී නම් අපිට එයාගේ වැඩ හොදටම බලා ගන්න පුළුවන්. මේ Falcon 2.0 කියලා කිව්වට කමක් නෑ. එයා ගොඩනැගිල්ලකින් පහළට පනින දර්ශනය ඉස්සරහට දකින්න ලැබෙන හැකිවන් ගැන අදහසක් ලබා දෙනවා.



ඒ වගේම මේ කොස්ටියුම් එක කොමික් වල සෑම්ගේ කොස්ටියුම් එකට සෑහෙන්න දුරට සමානයි.



අපිට ඊළඟට දකින්න පුළුවන් උණා මැෂින් ගන් එකකින් වෙඩි තියන දර්ශනයක්. මෙතන වෙඩි පහරට ලක් වෙන්නේ වෙන කවුරුත් නෙවේ අපේ කැප්.



මෙතන කැප් ඉන්නේ සිවිල් ඇදුමෙන්. ඒ කියන්නේ මේ වෙඩි තැබීම ගොඩක් අනපේක්ෂිත එකක්. ඒ වගේම කැප් ට එහා පැත්තෙන් හෙලිකොප්ටර් එකක් බිමට කඩාගෙන වැටිලා තියනවා. ගොඩක් දුරට අපි කලින් දැකපු හෙලිකොප්ටර් එකම වෙන්නත් පුළුවන්.



මෙතන පසුබිමේ සෑම් කියනවා එයාට ඕන උණා කියලා සියලුම විකල්ප ක්‍රියා මාර්ග උත්සාහ කෙරුවා කියන එක තහවුරු කරගන්න. කැප් පස්සේ එලවන අය තමන් පස්සෙත් එලවනවා කියන කාරණය සෑම් අවබෝධ කරගෙන කතා කරන්නේ. ඒ කියන්නේ කැප් මේ නිරත වෙන්නේ මරණයෙන් කෙළවර වෙන්නත් ඉඩ තියන මෙහෙයුමකට.

ෆෝල්කන් ගේ ඇඳුම විතරක් නෙවේ, එයාගේ හැකියාවනුත් වැඩි වෙලා කියලා කිව්වේ අපි මේ හින්දා. මීට කලින් Ant Man එක්ක වලියට ගිහින් චාටර් උණ කෙනාද කියලා නිකමටවත් හිතා ගන්න බෑ.



අපිට ආපහු නටාශාගේ දර්ශනයක් දකින්න හම්බෙනවා. එයා කියනවා ඒක සිද්ද වෙන්න යන්නේ කියලා. මේ කියන්නේ ලියාපදිංචි කිරීමේ පනත වෙන්න ඕනේ. එහෙම නැතිනම් බකී අත් අඩංගුවට ගැනීමේ ක්‍රියා මාර්ගය වෙන්නත් පුළුවන්.



ඒ මොකක් උණත් කැප් ට නම් ඉදගෙන බලාගෙන ඉන්න අදහසක් නෑ. අපිට දකින්න හම්බෙනවා කැප් IFID කියලා ලෝගෝ එකක් තියන ආයතනයකට කඩා පනිනවා. ලෝගෝ එකේ අප්‍රිකානු මහාද්වීපය තියන හින්දා මේක පැහැදිලිවම අප්‍රිකාවේ සිදුවීමක්. ෆිල්ම් එකට බ්ලැක් පැන්තර් ගේ සහභාගී වීම වෙන්නේ මෙතනින් වෙන්න ඉඩ තියනවා. ඒ වගේම මේ අකුරු වලින් කියවෙන සංවිධානය මොකක්ද කියලා ගොඩක් අය අනුමාන කරනවා. ඒ අතරින් වැඩි දෙනෙක් එකඟ වුනු තේරුම තමයි Institute For Infectious Diseases (ආසාදිත රෝග පිළිබඳ ආයතනය). පහුගිය කාලයේ ලෝකයේ හැමෝම, අප්‍රිකානු කලාපයේ Ibola වෛරසය ගැන කතා කෙරුවානේ. ගොඩක් පහසුවෙන් මේක ෆිල්ම් එකට ඇතුළත් කරගන්න පුළුවන් දෙයක්.


කැප් ගොඩනැගිල්ල ඇතුලට පැනලා පහර දෙනකොට එතන ගොඩ ගහලා තියෙන්නේ ඖෂධ වර්ගයක් වගේ පේන්නේ. ඒ හින්දා අපි කියපු කතාව තහවුරු වෙනවා වගේ.



අපිට ඊට පස්සේ බලාගන්න පුළුවන් ට්‍රේලර් එකේ මුල්ම සහ එකම වතාවට ප්‍රධාන පාර්ශව දෙක මුහුණට මුහුණලා ඉන්නවා. අයන් මෑන් සහ වෝර් මැෂින් එක පැත්තක ඉන්නවා. මීට කලින් වතාවේ කැප් හම්බුන වෙලාවේ දී වගේම ටෝනි ගේ ඇහැ යට කළු වෙලා තියෙන්නේ. ඒ වගේම වෝර් මැෂින් ගේ ආමර් එක හිරිලා තියන එකෙන් එයා සටනකට මුහුණ දීලා ඇවිත් කියලා පැහැදිලියි.



එතකොට කැප් ගේ පැත්තේ ඉන්නවා හෝක්අයි, ස්කාලට් විච්, බකී. මෙතන බකි ඇදගෙන ඉන්නේ එයාගේ කොස්ටියුම් එක කියලා නම් කියන්න එපා. තාවකාලික ආවරණයක් වෙන්න ඇති. මෙතන සෑම් නම් දකින්න හම්බෙන්නේ නෑ. ඒ වගේම ටෝනි ගේ පැත්තේ නටාෂා දකින්නත් නෑ.


ඊළඟට දකින්න ලැබුණු දේ නම් ඇත්තටම දුක හිතෙනවා. එකට උරෙන් උර ගැටිලා සටන් කරපු අයට විරුද්ධව අවි ඔසවනවා දකින්න ලැබුණු එක නම් ගොඩක් කනගාටු දායකයි. ටෝනි සහ වෝර් මැෂින් දෙන්නා මේ යන විදිහ දැක්කාම නම් කැප් ලාට ලේසි නම් වෙන්නේ නෑ වගේ.



මෙතන බකී දුවනවා පෙන්වන්නේ කලින් අපි කතා කරපු අවස්ථාවක දර්ශනයක්.


ටෝනි සහ වෝර් මැෂින් වෙඩි තියන අවස්තාව. මෙතන ගැටලුව තියෙන්නේ සිවිල් වැසියොත් මේ ගැටුමට මැදිහත් වෙන එක. මොකද මෙතන අහකට පනින දෙන්නා සිවිල් වැසියෝ දෙන්නෙක් වගේ පෙන්නේ.


අපි කලින් කිව්වේ ටෝනි සහ වෝර්මැෂින් ගේ වෙඩි ප්‍රාහාර වලට මුහුණ දෙන්න ලේසි වෙන්නේ නෑ කියලා. ස්කාලට් විච්, සහ හෝක්අයි පණ බේරගන්න දුවන්නේ ඒ හින්දා. වෙඩි පහර වැදිලා විනාශ වෙන ට්‍රක් එකේ ගහලා තියනවා Flughafen Leipzig-Halle කියන නම. ජර්මන් බාශාවෙන් Flughafen කියන්නේ ගුවන් තොටුපල කියන එක. මේ සිදුවීම වෙන්නේ ජර්මනියේ ගුවන් තොටුපලක වෙන්න ඕනේ.


සෑම් අහනවා අපි දැන් මොකද කරන්නේ කියලා.


එතකොට කැප් කියනවා සටන් කරනවා කියලා.


ඒ වාක්‍ය දෙක අතර අපිට MCU එකේ අළුත්ම සාමාජිකයා ගේ පලවෙනි දර්ශනය දකින්න හම්බෙනවා. ඒ තමයි T’Challa එහෙමත් නැතිනම් බ්ලැක් පැන්තර්. ආලෝක ධාරාවක් මැදින් බ්ලැක් පැන්තර් පෙන්වපු එක නම් වචනයෙන් කියන්න බැරි තරම් සුපිරි.


අපි කලින් දැක්කේ නැති උනාට එතන සෑම් ඉදලා වගේ. කැප් ගේ කණ්ඩායමත් සටනට සුදානම් වෙලා ඉන්නේ. ඒ අතින් බලද්දී නම් ටෝනි, වෝර් මැෂින් දෙන්නා ට හැරෙන්නවත් බැරි වෙයි කියලා හිතෙන්නේ.


හැබයි මෙතන ටෝනි සහ වෝර් මැෂින් ගේ උදව්වට බ්ලැක් පැන්තර් ඉන්නවා. පසුබිමෙන් පේන Betonbau කියන වචනයෙන් අපි තාමත් ජර්මනියේ ඉන්නවා කියන එක පැහැදිලියි. මොකද මේ ඇත්තම ඉදිකිරීම් සමාගමක නමක්.


අපිට ඊලඟට දකින්න හම්බෙන නටෂා ගේ සටන වෙන්නේ නම් ජර්මනියේ නෙවේ. මොකද අපිට පසුබිමින් තාල වර්ගයට අයිති ගස් එහෙම පේනවා.


ෆිල්ම් එකේ හුස්ම ගන්නත් අමතක වෙන දර්ශන නම් ඕනේ තරම් වගේ. බකී පස්සේ බ්ලැක් පැන්තර් එලවද්දී ඊට පිටිපස්සෙන් කැප් දුවගෙන එන එක ඒ වගේ අවස්ථාවක්. පැහැදිලිවම බ්ලැක් පැන්තර් ගේ සටන තියෙන්නේ බකී එක්ක. එයා ටෝනි ගේ පැත්තට එකතු වෙනවා ඇත්තේ ඒ හින්දා වෙන්න ඇති.



අපි මීට කලින් දැකපු හෙලිකොප්ටර් එක කැප් තනි අතින් නවත්වාගෙන ඉන්නවා. මට හොදටම විශ්වාසයි මෙතන අත් වැට කඩාගෙන වැටුනා මිසක් කැප් ගේ අතින් මේක අත හැරිලා නෑ කියන එක.


නටාෂා ඉස්සරහා ලොකු පිපිරීමක් වෙනවා. මේ අපි කලින් දැකපු ට්‍රක් රථ. මේ පිපිරිම ටෝනි සහ වෝර් මැෂින් ගේ වෙඩි තැබීම් වලින් තමයි වෙන්න ඇත්තේ.


ඊළඟට බකී, ටෝනි ට පහර දීලා එයාගේ පවර් කොර් එක ගලවන්න හදනවා. ටෝනි ට එයාගේ බල සැපයුම නැතුව ඉන්න බෑනේ. මේක අයින් කෙරුවා කියන්නේ මරනවා වගේම බරපතල දෙයක්. බකී ට ටෝනි ව වලක්වන්න නෙවේ ඕනේ. ඉවරයක් කරලාම දාන්න. කැප් ගේ ප්‍රතිපත්ති බකි ගේ මේ ක්‍රියා කලාපය එක්ක කොහොම ගැලපෙයිද කියන එක නම් ගැටලුවක්.


කැප් ශිල්ඩ් එක භාවිතා කරලා පිපිරීමකින් බේරෙනවා. මේක කොතැනට අදාළ සිදුවීමක් ද කියන එක නම් හරියටම කියන්න බෑ හැබයි.


ඊළඟට අපිට දකින්න හම්බෙන්නේ වෝර් මැෂින් ගාව ඉන්න ටෝනි ගේ දර්ශනයක්. එයාගේ පපුවෙන් පවර් කෝර් එක ගලවලා අයින් කරගෙන. ඒ කියන්නේ මේක බකී ගේ වැඩක්. මෙතන දී ටෝනි ගේ හැගීම් මොන වගේ ඇතිද කියලා හිතා ගන්නත් බෑ මට නම්. වෝර් මැෂින් කියන්නේ ටෝනි ගේ පරණම යාලුවා. එයාට ඇවෙන්ජර්ස් ලා එකතු වෙන්න කලින් හැම දෙකටම හිටියේ එයා. මෙතන දී අපිට පැහැදිලිවම කියන්න බෑ වෝර් මැෂින් මැරිලා කියලා. ඒත් ප්‍රධාන චරිතයක ගේ මරණයක් වෙනවා කියලා කලින් ඉදන්ම කියලා තිබ්බ දෙයක් නේ. මේ සිදුවීම එච්චර වැදගත් එකක් නම් ඒක පලවෙනි ට්‍රේලර් එකේම පෙන්නුවේ ඇයි කියන එක නම් ගැටලුවක්. ඒ මොනවා උණත් සම්පුර්ණ ෆිල්ම් එකටම පාදක වෙන්නේ ළඟම යාලුවා වෙනුවෙන් පෙනී සිටීමේ දී ඇති වුනු ගැටළු. මේක ටෝනි සහ කැප් දෙන්නටම පොදුයි වගේ.


සම්පුර්ණ ට්‍රේලර් එකේම මට නම් වටිනාම අවස්තාව හම්බෙන්නේ ඊළඟට. ට්‍රේලර් එකකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියන කාරනය මම දැනගෙන හිටියේ නෑ. මෙතන දී කැප් කියනවා එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා. බකී කියන්නේ එයාගේ යාලුවා කියලා කියන්නේ. මෙතන කැප් කතා කරන්නේ පුදුමාකාර බරක් තියාගෙන. මේ වෙලා තියන හැම දෙයකින්ම වෙලා තියන විනාශය එයාට දරා ගන්න බෑ වගේ.


එතකොට ටෝනි " So was I" කියද්දී පපුවේ මොකක්ද එකක් හිරවුනා වගේ. මතක තියා ගන්න මෙතන දී ටෝනි කියන්නේ "So am I" නෙවේ. ඒ කියන්නේ හානිය වෙලා ඉවරයි. ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒත් එයාට මේ සිදුවීම අදහාගන්න බෑ වගේ. ගොඩක් වේලාවට මේක ෆිල්ම් එක අවසාන හරියේ දෙයක් වෙන්නත් පුළුවන්.


එදා මෙදා තුර කොමික් සම්බන්ධ ෆිල්ම් එකක සාර්ථකම ට්‍රේලර් එක සිවිල් වෝර් ට්‍රේලර් එක කියලා නැවත නැවතත් කියන්නේ මේ වගේ සංවේදී හැඟීමක් ඇහි පිය ගහන කාලයක් තුලදී අපිට ඇතිකරන්න සමත් වුනු හින්දා.
අවසානේ දී අපිට දකින්න හම්බෙනවා බැලුවට පස්සේ මොකක්ද මේ දෙවියනේ අපි බැලුවේ කියලා හිතෙන දර්ශනයට. මේක ට්‍රේලර් එකේ ආක්ර්ශනියම දර්ශනය කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙතන දී කැප් සහ බකී දෙන්නා මාරුවෙන් මාරුවට ටෝනි ට පහර දෙනවා. ඒ වගේම ශිල්ඩ් එකත් දෙන්නා මාරු කරගන්නවා. මේ අවස්ථාව ආකර්ශනිය දර්ශනයක් වගේම ඉදිරියට එන ෆිල්ම් ගැන පොඩි අදහසක් දෙනවා. කැප් ගෙන් පස්සේ ශිල්ඩ් එක බකී ට දෙනවා කියන එක ගොඩක් කල් ඉදන් කතා වුනු දෙයක් නේ. මෙතන දී ඒ ගැන ඉඟියක් දෙනවා. ඉස්සරහට බකි, කැප් ගේ තනතුර භාරගන්න ඉඩ තියනවා.


ගොඩක් අය බලාගෙන හිටිය ස්පයිඩර් මෑන් ගැන අපිට මේකේ දී දකින්න ලබුනේ නම් නෑ. ඒ වගේම විෂන් සහ ඈන්ට් මෑන් ගැනත් දකින්න ලැබුනේ නෑ. ඒත් තවම මේ පලවෙනි ට්‍රේලර් එකනේ. ඉස්සරහට අපිට මේ ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්.

රූප රාමුවෙන් රාමුවට බල බලා ලිව්වත් අතපසු වුනු දේවල් තව ගොඩක් ඇති. එහෙම දෙයක් දැක්කොත් අපිත් එක්ක ඒක බෙදා ගන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

attila_THE_hun

Wednesday, November 25, 2015

Civil War Trailer 01 - Break Down Part 01

 CAPTAIN AMERICA:CIVIL WAR



මේ දවස් ටික කොමික් රසිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුනු දවස් කිහිපයක් කිව්වොත් ඒක වැරදි නෑ. මුලින්ම අපිට එදා මෙදා තුර කොමික් කතාවක් ඇසුරෙන් බිහිවුණු සාර්ථකම ටීවී සිරිස් එක බලාගන්න හම්බුනා. ඒ වගේම මෑත ඉතිහාසයේ දකින්න ලැබුණු ආකර්ශනීයම ට්‍රේලර් එක ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ බලාගන්න ලැබුනා. අද දවසේ ඒ සතුට තවත් වැඩි කරලා අපි හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය සිවිල් වෝර් ට්‍රේලර් එක බලා ගන්න හම්බුනා. ඒ වගේම මේ ට්‍රේලර් එක මේ දක්වා කොමික් සම්බන්ධ ෆිල්ම් එකක් වෙනුවෙන් නිකුත් වුනු හොඳම ට්‍රේලර් එක කියන දේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ගොඩක් අය මේ කතාවට එකඟ වෙන්නේ නැතිවෙයි. හැබයි ට්‍රේලර් එකක් කියන්නේ සටන් ජවනිකා කිහිපයක් සහ අහම්බෙන් එකතු කරගත්තු දර්ශන කිහිපයක් එකට එකතු කරන එකක් නෙවේ. මොකද ඒ අතින් ගත්තාම මේ ට්‍රේලර් එකට වඩා ආකර්ශනීය ට්‍රේලර් පහුගිය කාලේ අපිට දකින්න හම්බුනා. හැබයි මෙතන තියන විශේෂත්වය තමයි අපිට ට්‍රේලර් එක බලද්දී ෆිල්ම් එක ඇතුලේ අපිට බලාපොරොත්තු වෙන දේ ගැන පුර්ව අදහසක් ලබා දෙනවා. ඒ වගේම මේ මිනිත්තු 3 කට අඩු කාල සීමාව ඇතුලේ පවා අපේ හදවතට සංවේදී කතාවක් ලියවිලා තියනවා. කොටින්ම කියනවා නම් මේ මිනිත්තු කිහිපය එක දිගට රසවිදින්න පුළුවන් කෙටි කතාවක් වගේ. අන්න ඒ කරුණු කාරණා හින්දා අවිවාදයෙන්ම මේ සිවිල් වෝර් ට්‍රේලර් එදා මෙදා තුර කොමික් සම්බන්ධ ෆිල්ම් එකක් වෙනුවෙන් නිකුත් කරපු සාර්ථකම ට්‍රේලර් එක වගේම මෑත ඉතිහාසයේ ෆිල්ම් එකක් වෙනුවෙන් නිකුත් වුනු සාර්ථකම ට්‍රේලර් වලින් එකක්.

අපි එහෙනම් තව එක වතාවක් සිවිල් වෝර් ට්‍රේලර් එක බලලා කතාව පටන් ගමු.




ඒ විනාඩි 2.27....

අපි එහෙනම් රාමුවෙන් රාමුවට අපිට දකින්න ලැබුණු දේවල් මොනවාද කියලා බලමු. මේ ට්‍රේලර් එක පටන් ගන්නේ Ant-Man ෆිල්ම් එකේ post credit එකේ නැවතුනු තැන ඉදලා. 



ට්‍රේලර් එකේ ආරම්භක දර්ශනය මෙතනින් පස්සේ සිද්ද වෙන දෙයක්. හරියටම බැලුවොත් නම් ට්‍රේලර් එකේ ආරම්භක අවස්තාවේ කොටසක් තමයි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේ තිබ්බේ.


අපි දකින්න පුළුවන් වෙනවා සෑම් සහ කැප්ට බකී හම්බෙනවා. මේ ස්ථානය කොතනද කියන එක නම් අපිට පැහැදිලි නෑ. මෙතන දී කැප්, බකී ගෙන් අහනවා එයාව මතක ද කියලා. බකී කැප් ගේ මවගේ නම සේරා කියලා කියනවා. මීට කලින් ආපු කැප්ටන් ඇමරිකා ෆිල්ම් වල මේ කාරණය කතා කෙරුවා ද කියන දේ නම් මට මතක නෑ. මොකද කොමික් වලත් කැප් ගේ අම්මාගේ නම Sarah. බකී සහ කැප් පුංචි කාලේ ඉදලම එකට හැදුනු හින්දා ඒ විස්තර වෙන කාටවත් වඩා දන්නවා. තව දෙයක් තමයි බකී විහිළුවට කියනවා කැප් පුංචි කාලේ පත්තර කොළ සපත්තුව ඇතුලට දාන්න පුරුදු වෙලා හිටියා කියලා. ගොඩක් දුරට පොඩි කාලේ කැප් කෙට්ටු කෙනෙක් හින්දා සපත්තු දෙක ගැලවෙන්නේ නැති වෙන්න පත්තර කොළ දාගෙන හිටියා කියන කාරණය තමයි අදහස් කරන්න ඇත්තේ. කොමික් වල දී කැප් සහ බකී අතර තියෙන්නේ ඉතාම ලොකු මිත්‍ර කමක්. මේක සහෝදරයෝ දෙන්නෙක් අතර තියන බැඳීම වගේ. මේ සම්බන්ධය MCU එක ඇතුලේ මෙච්චර දවසක් කතා කෙරුවේ නෑ. ඒත් අපිට අන්තිමේ දී ඒ අවස්තාව උදා වෙන්න වගේ යන්නේ. 

ඒ වගේම තමයි බකී දැන් ඉන්නේ සම්පුර්ණ පියවි සිහියෙන්. ආයේ මෙතනින් එහාට ඉන්නේ අපි කොමික් වල ආදරය කරපු බකී ම තමයි. 


මෙතන දී සෑම් කියනවා මිට සතියකට කලින් මේ කාරණය ගොඩක් ලේසි වෙන්න තිබ්බ කියලා. ඒ කියන්නේ සතියකට ඉහත දී මොකක් හරි වැදගත් සිදුවීමක් වෙලා තියනවා. ඒ මොකක් වෙන්න පුළුවන් ද? අපිට පහසුවෙන්ම එළඹෙන්න තියන නිගමනය තමයි සුපිරි වීරයන් ගේ ක්‍රියා කාරකම් පාලනය කරන පනත මේ වෙද්දී ඇවිත් කියලා. අඩු ගානේ ඒ යෝජනාව හරි ඇවිත් මේ වෙනකොට. 
Ant-Man පෝස්ට් ක්‍රෙඩිට් එකේ සඳහන් වෙන විදිහට මේ කාරණය ටෝනි ට කියන්න විදිහක් නෑ. එහෙනම් ටෝනි ගේ මැදිහත් වීම මේ වෙද්දී වෙලා ඉවරයි වගේ. ඊළඟට දකින්න ලැබෙන දර්ශන එක්ක අපිට දල වශයෙන් මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. 
අපිට දකින්න හම්බෙනවා කැප් ගේ කටහඩ පසුබිමෙන් ඇහෙද්දී පිපිරීමේ දර්ශනයක්. කැප් කියනවා බකී පස්සේ කට්ටිය පන්නනවා කියලා. ඒත් බකී කියන විදිහට එයා ඒ දේවල් තව දුරටත් කරන්නේ නෑ. 


හැබයි එයා කලින් කරපු දේවල් වල බලපෑමෙන් මිදෙන්න එයාට තවම බැරි වෙලා වගේ. අපිට දකින්න හම්බෙන පිපිරිම ගොඩක් වෙලාවට බකී ව හසුකරන්න වෙන කණ්ඩායමක් කරපු දෙයක් වෙන්න ඉඩ තියනවා. මොකද අපි අමතක කරන්න නරකයි මේ කතාවේ නරක කණ්ඩායම කැප් වත් ටෝනි වත් නෙවේ කියන එක. ට්‍රේලර් එකේ දකින්න හම්බුනේ නැති Baron Zemo ලොකු වැඩ කොටසක් කරනවා දුෂ්ටයෙක් විදිහට. අපිට එන්න පුළුවන් නිගමනය තමයි ඒ අය විසින් කරපු දෙයකට බකී කොටුවෙලා කියන එක. මේ දර්ශනය සිද්ද වෙලා තියෙන්නේ ජර්මනියේ. මොකද මිනිස්සු කලබලයෙන් දුවද්දී දකින්න ඒ අය පාලනය කරන පොලිස් නිලධාරීන්ගේ පිටේ තියෙන්නේ Polizei කියන ජර්මන් වචනය. 


එතන සෑම් ඉන්නවා කියන්නේ ඇවෙන්ජර්ස් ලා සම්බන්ධ සිදුවීමක් වෙන්න පුළුවන්. 


අපි අමතක කරන්න නරකයි අල්ට්‍රෝන් ෆිල්ම් එකේ අවසාන සටන වුනු සොකෝවියාව පිහිටලා තියෙන්නේ ජර්මනිය තරමක කිට්ටුවෙන් කියන එකත්. පිපිරිම සිදු වුනේ සමුළුවක් වගේ අවස්ථාවක වගේ හින්දා ඒ සොකෝවියාවේ සිදුවීම් ගැන කතා කරන්න යොදා ගත්ත සමුළුවක් වෙන්න ඉඩ තියනවා. සුපිරි වීරයන් ට එරෙහිව ලෝකයේ අනිත් අයගේ ආකල්පය හදන්න මේ සමුළුවට එල්ල කරන ප්‍රහාරය ගොඩක් තීරණාත්මක එකක් වෙන්න පුළුවන්. 
එහෙමත් නැතිනම් ඒ පිපිරිම ගැන හොයන්න සෑම් සහ කැප් ඇතුළු කණ්ඩායම ආවා වෙන්න ඉඩ තියනවා. ඒ අතර වාරයේ ජර්මනි රජය මඟින් මේ ගැන සොයා බැලීම් කරනවා.


කැප් ඇතුළු කණ්ඩායමට පොලිස් නිලධාරීන්ට කලින් බකී ව හම්බෙලා වගේ පේන්නේ. සමහරක් විට අපි මුලින් දැක්කේ ඒ හම්බුනු අවස්තාව වෙන්න ඉඩ තියනවා. මෙතන දී කැප් ට කරන්න දෙයක් නැතුව තමන්ගේ යාළුවාට උදව් කරන්න සිද්ධ වෙනවා වගේ.


කැප් පොලිස් නිලධාරීන් නවත්වන අතරේ බකි එතනින් පැනලා යනවා. 



ඊළඟට අපිට දකින්න පුළුවන් වෙන්නේ හෙලිකොප්ටර් එකක දර්ශනයක්. මෙතන පෙන්නුම් කරන්නේ මොන සාගර කලාපයද කියලා අපිට තවම අදහසක් ගන්න විදිහක් නෑ. 


ඊට පස්සේ තමයි අපිට General Thaddeus "Thunderbolt" Ross කතාවට එකතු වෙනවා දකින්න හම්බෙන්නේ. 


මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙයා හල්ක් පස්සෙන් ගොඩක් පන්නවා. ඒ වගේම MCU එක යටතේ නිකුත් කරපු කොමික් වලදී මෙයා නීතිය හා සාමය වෙනුවෙන් වැඩ කරනවා කියන එක පෙන්නුම් කෙරුවා. සරලව කිව්වොත් මෙයා ඇමරිකානු රජය නියෝජනය කිරීමක් කරනවා. 
එයා කැප් ට කියන කතාව ගොඩක් වැදගත්. මොකද මුළු ලෝකයාම කැප් කියන්නේ යුක්තිය හා සාධාරණතත්වයේ පිළිඹුවක් කියලා කියන්නේ නෑ. වින්ටර් සෝල්ජර් ෆිල්ම් එකේ දී අපි දැකපු දේවල් එක්ක කැප් ගේ ක්‍රියා කලාපය ගැන සමහරක් අයට ගැටළු තියනවා වෙන්න පුළුවන්. අපි ජර්මනියේ දැකපු දේවල් එක්ක මේ ගැටලුව තවත් වැඩි වෙන්න ඉඩ ඇති.


මෙතන දී අළුත් ඇවෙන්ජර් මධ්‍යාස්ථානය දකින්න හම්බුනු හින්දා ජෙනරල් එතැනට ඇවිත් කතා කරනවා වගේ පේන්නේ. ජර්මනියේ සිදුවීම ආයේ සිද්ධ නොවෙන්න දීපු අනතරු ඇඟවීමක් වගේ මේක. මේ කතාව කරද්දී සෑම් සහ නටාෂා දෙන්නත් ඉන්නවා. ඒ කියන්නේ ජර්මනියේ සිදුවීම ට නටාෂා ත් ගිහින් තියනවා වගේ.


කතාව යන අතරේ අපිට දකින්න හම්බෙනවා කැප්, බකී ව හොයාගෙන යද්දී සිදුවීමක්. ගැටලුව තියෙන්නේ මේ සිදුවීම කලින් වගේ ජර්මනියේ නෙවේ වෙලා තියෙන්නේ. බකී හිටගෙන ඉන්න තැනට පිටිපස්සේ තියන නාමපුවරුවේ අපිට දකින්න වෙන්නේ ෆාමසිය කියන තේරුම දෙන Farmacia කියන ඉතාලි වචනය. ජර්මනිය සහ ඉතාලිය කියන රටවල් දෙකම මෙතනට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක නම් ඇත්තටම දැන්ම අපිට හිතා ගන්න බෑ. 


ජෙනරාල් අවධාරනය කරනවා අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වෙන සුපිරි වීර ක්‍රියාකාරකම් තව දුරටත් ලෝකයා අනුමත කරන්නේ නෑ කියලා. ඒ හින්දා ලෝකයා විසින් සම්මත කරගත්ත ගිවිසුම් වාර්තාව අපිට ඉදිරිපත් කරනවා පේනවා. ඒකෙ නම තමයි The Sokovia Accords : Framework for the Registration and Deployment Enhanced individuals (වර්ධිත පුද්ගලයින් ලියාපදිංචිය සහ සුභාවිත පිළිවෙත සඳහා වූ ස්ලෝවැකියානු ගිවිසුම). වැඩි විස්තර නැතිව සරලව කිව්වොත් මේක තමයි හැමෝම කතා කරපු SHRA එහෙමත් නැතිනම් Super Human Registration Act එක. මේක භාර දෙන්නේ නම් හැබයි ගැහණු කෙනෙක් ට. ඒ කවුද කියන එක නම් පැහැදිලි නෑ හරියටම.


මෙතන දී ජෙනරාල් කියන කාරණයක් ගැන කැප් එකඟ වෙන්නේ නෑ වගේ. ගොඩක් දුරට මේක බකී සම්බන්ධ කාරණයක් වෙන්න ඇති. 


ඒත් එකක්ම බකී, බයිසිකලේක යන දර්ශනයක් පෙන්වන හින්දා ඒක තහවුරු වෙනවා. 


ඊට පස්සේ අපි දකිනවා නටාෂා සහ කැප් දෙන්නා අතරේ දුරකථන සංවාදයක්. මේ දෙන්නා ගේ සම්බන්දේ ගොඩක් ගැඹුරට අපිට දකින්න හම්බුනා නේ. දෙන්නාම අනිත් කෙනා ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒ හින්දා නටාෂා ට කැප්, බකී ගැන කරදර වෙන එක හොඳට තේරෙනවා.


ඒත් එයාට කරන්න දෙයක් නෑ. මොකද නටාෂා ට සිද්ධ වෙනවා සේරටම වඩා රාජකාරිය ගැන හිතන්න. එයා ඒකයි කියන්නේ කැප් ට මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා කියලා. 


ඒත් කැප් ට ඒ දේ කරන්න වෙන්නේ නෑ. එයා ඒකයි අහන්නේ මැදිහත් වීමක් කලොත් එයාව අත් අඩංගුවට ගන්නවා ද කියලා? මෙතනින් අපිට පැහැදිලි වෙන දේ තමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නටාෂා නියෝජනය කරන්නේ ටෝනි ගේ පැත්ත කියන එක.
ඊට පස්සේ අපිට දකින්න පුළුවන් රථ වාහන සමුහයකින් ඇවිත් කැප් ව වටකරන දර්ශනයක්. පැහැදිලිවම කැප් අනතරු ඇඟවීම් පැත්තක දාලා බකී ට උදව් වෙනවා. 



ඊට පස්සේ තමයි අපිට පලවෙනි වතාවට ෆිල්ම් එකේ අනිත් ප්‍රධාන පාර්ශ්වය නියෝජනය කරන අයන් මෑන් දකින්න හම්බෙන්නේ. 


මෙතන දී අයන් මෑන් ගිවිසුමට සහය පලකරන පාර්ශ්වයට තමයි වැඩ කරන්නේ. මේකට හේතුව ට්‍රේලර් එකේ පස්සේ පැහැදිලි කරන සිදුවීමක් වෙන්නත් ඉඩ තියනවා. මෙතැන කැප් සහ අයන් මෑන් හමුවීම ෆිල්ම් එකේ නම් අවසාන අවස්ථාවේ වෙන සිදුවීමක් වෙන්න තමයි ඉඩ තියෙන්නේ. මේ ට්‍රේලර් එකේ තියන වැදගත් කම තමයි මේක ඇවෙන්ජර්ස් ෆිල්ම් එකක් නෙවේ කැප් ගේ ෆිල්ම් එකක් කියන දේ හොදටම පැහැදිලි කරන එක. මේකේ පාර්ශව දෙකක් හිටියට ප්‍රධාන කතාව යන්නේ කැප් වටා. ඒ හින්දා එයාට ලැබෙන්න ඕන මුලිකත්වය දීලා තියනවා. 

ඊලඟට අපිට දකින්න පුළුවන් වෙන්නේ ගුවන් තොටුපලක දර්ශනයක්. එතන ඉන්නවා ගොඩක් දෙනෙක් කතා කරපු Martin Freeman. මෙයා බ්‍රිතාන්‍ය රජය නියෝජනය කරන කෙනෙක් විදිහට තමයි මේකේ ඉන්නවා කියන්නේ. 


එතැන දී කැප් සහ සෑම් දෙන්නා රාජතාන්ත්‍රික ගැටලුවකට මැදිහත් වෙලා වගේ පේන්නේ නම්.


මේ ගැටළුව ඇතිවෙන්න හේතුව මොකක් ද? අපිට ඊළඟට දකින්න හම්බෙන බකි මෙහෙයුමකට සුදානම් වෙන දර්ශනය දැක්කාම හිතෙන්නේ ඒකට සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන් කියලා. මොකද කැප්, බකි කරන්න යන වැඩේට උදව් කරනවා. 


ඊට පස්සේ අපිට දකින්න හම්බෙනවා ටෝනි සහ කැප් අතර සංවාදයක්. මෙතන යන සංවාදය ගොඩක් නිවුණු විදිහට යන්නේ. ඒත් ඒ වචන ඇතුලේ තියන අර්ථය නම් ගොඩක් දරුණුයි වගේ. ටෝනි කියනවා "Sometimes I want to punch you in your perfect teeth". කැප් ගේ සමහර තීරණ ගැන ටෝනි ට ගැටළු තිබිලා තියනවා ඒ කියන්නේ. මට නම් හිතෙන්නේ මේක සුහදශීලිව කරපු තර්ජනයක් කියලා.


ට්‍රේලර් එකක් රුප රාමුවෙන් රාමුවට විස්තර කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. මේ ලිපිය ගොඩක් දිග වැඩි වෙන හින්දා මෙතනින් පලවෙනි කොටස අපි නතර කරනවා. ට්‍රේලර් එකේ මෙතන ට එනකල් රිද්මයානු කුල විදිහට ගලාගෙන යන්නේ. මෙතනින් පස්සේ ඉතා කෙටි කාලයක් තුල සිදුවීම් විශාල ප්‍රමානයක් පෙන්වනවා. අපි හිතුවා ඒ ටික ඉලංග කොටසින් කතා කෙරුවොත් හොදයි කියලා. එහෙනම් ඉලංග කොටසින් ඉක්මනටම හම්බෙමු.

attila_THE_hun

 
Back To Top
Copyright © 2014 Comic Script. Designed by OddThemes | Distributed By Gooyaabi Templates